Friday, November 4, 2016

කාලය සහ වැඩ

කාලය සමඟ තරඟෙට මම දිව යනවා
කාලය මාව පරදාගෙන දිව        යනවා
කලයුතු වැඩ කටයුතු මග හිර වෙනවා
ඒ හින්දම ඔෆිස් එකේ රෑ         වෙනවා

Friday, October 7, 2016

වැඩ



උදෙන්ම ඇවිත් වැඩ කරලා ගෙදර යති
හෙටත් උදෙන් ආයෙත් මම වැඩට එමී
මේ ජීවිතේ දැන්නම් මට තිත්ත වුනි
ගෙදරට වෙලා ඉන්නට ඇත්නම් යෙහෙකි

නිදිමත දැනෙයි අද මට වෙනදාට වඩා
වැඩක් කලත් නැහැ හිත සැනසුමක් මෙදා
කුමක් කලත් පල නැහැ අද දවස කිමා
කවදා ලැබෙයිදෝ සැනසුම පතන මෙමා

Saturday, January 26, 2013

අමුතු විදියේ ප්‍රශ්නයකට උත්තර හොයමු - දෙවන කොටස


ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි ආයෙත් ලියන්න හිතුනේ. මේ කතාවේ පළවෙනි කොටස කියවපු ගොඩක් අය මට කිව්වා අනිත් කොටසත් දාන්න කියලා. හැමදාම මේ ලිපියේ ඉතුරු ටික ලියලා දාන්න ඕන කියලා හිතුනට හැමදාම ලියන්න ගන්නකොටම මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩේ කල් යනවා. ඉතින් අදනම් පුටුවෙන් වාඩිවුනේ මේ වැඩේ ඉවර කරලා මිසක පුටුවෙන් නැගිටින්නේ නෑ කියලයි.

මම ඔයාලට රූප සටහනක් එහෙම පෙන්නලා ඇහුවනේ ප්‍රශ්නයක් “සතුට“ කරා යෑම ගැන. ඒකෙදි මම කිව්වා එක පුද්ගලයෙක් දුෂක්ර මාර්ගයෙනුත් අනික් පුද්ගලයා ලේසිම මාර්ගයෙනුත් ඇවිත් සතුට කරා ආපු හැටි. 

ඊට පස්සේ අර ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් ඇවිත් මේ දෙන්නගෙම කතාව අහලා  චිත්‍රපටයක් හදන්න යනවා කියලා. ඉතින් ස්ටීවන් ස්පීල්බර්ග් තෝරගත්තේ අර Y කියන පුද්ගලයා දුෂ්කර මාර්ගයෙන් ආපු ගමන තමයි. ඒකට හේතුව තමයි අපි පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක් කන කට්ටක් දැකලා දුකක් දැකලා ඒ ගැන බලන්න, ඒ දේ ගැන පුදුම වෙන්න මිසක් ලේසියෙන්ම සාර්ථකව කරපු වැඩක් ගැන නෙමයි. 

නිකමට හරි හිතමු ලේසි පාරෙන් ඇවිත් සතුට කරා ආපු මනුස්සයාගේ කතාව චිත්‍රපටයකට නැගුවාය කියලා. දැන් ඒක බලන්න ආපු මිනිස්සුන්ට දකින්න පුළුවන් වෙන්නේ එක මිනිහෙක් ඇවිත් බස් එකේ නැගලා සතුට කියන තැනට යනවා. එච්චරයි චිත්‍රපටිය පැය එකහමාරෙන් ඉවරයි. ඒ පැය එකහමාරෙන් වැඩිම වෙලාවක් අර පුද්ගලයා බස් එකේ යන දර්ශනය තමයි දකින්න පුළුවන් වෙන්නේ.

දැන් ඔයාලා අහයි මගෙන් මොන මෝඩයද ලේසි පාරක් තියාගෙන දුෂ්කර පාරක් තෝරගන්නේ කියලා. ඔව් අපි හැමදෙයක්ම ලේසියට කරන්න පුරුදු වෙලා ඉන්න එක තමයි ඒකට හේතුව. ඒත් මම ඔය වගේ අවස්ථාවක තෝරගත්තේ දුෂ්කර මාර්ගය. 

ඒ මොකද්ද වගේම ඇයි ඒකට හේතුව කියලත් තව කොටසකින් මම කියන්නම්කෝ.
 

Wednesday, July 4, 2012

අමුතු විදියේ ප්‍රශ්නයකට උත්තර හොයමු


කාලෙකට පස්සේ තමයි මොනවහරි ගැන ලියන්න ඕන කියලා කල්පනා වුනේ. හැබැයි අද කියන්න හදන්නේ කතාවක්වත් කවියක්වත් නෙමෙයි. අද පොඩි ප්‍රශ්නයක් අහන්න තමයි හදන්නේ. බලන්නකෝ හොදට මේ ප්‍රශ්නය දිහා ඔයා දකින්නේ මොන විදියටද කියලා.



ඔතන රූපයේ ඇදලා තියෙන සටහන ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. මම ඒ ගැන ටිකක් පැහැදිලි කරන්නම්කෝ
          ඔය රූපයේ ඉන්න X කියන පුද්ගලයා C නැමැති පාර දිගේ එනවා. ඒ එන්නේ සතුට කියන දේ හොයාගෙනයි. ඒ එද්දි එයාට මුණ ගැහෙනවා තුන්මන්හන්දියක්. එයාට තෝරගන්න මාර්ග දෙකකුත් තියනවා. එයා ඒ පාරවල් දෙකේම මීට පෙර කවදාවත් ගිහින් නම් නෑ. හැබැයි එයාට අහන්න ලැබිලා තියෙන විදියට මේ පාරවල් දෙකෙන්ම සතුට කරා ළගාවෙන්න පුළුවන්.

          හැබැයි ඔතන තියෙන A කියන මාර්ගය අති දුෂ්කර මාර්ගයක් ඒ පාරේ ගියොත් අඩුම තරමේ දවස් 6 ක් වත් යන්න වෙනවා අර සතුට හොයාගන්න. ඒ විතරක් නෙමෙයි ගොඩක් දුක් විදින්නත් වෙනවා. ඒ පාරේ කිසිම මනුස්සයෙක්වත් වාහනයක්වත් ගමන් කරන්නෙත් නෑ. හැබැයි B කියන මාර්ගය එහෙම එකක් නෙමෙයි. ඒ පාර අර ලංකාවේ අලුතින් හදපු අධීවේගී මාර්ගයක් වගේ එකක්. ඒ පාරේ යන්න බස් එකකුත් දාලා තියනවා. ඒ පාරෙන් සතුට කරා යන්න පැය 1 විනාඩි 20 ක් විතර තමයි යන්නේ.  


          ඉතින් මම අහන්න යන පළමු ප්‍රශ්නය මේකයි.


ඔය X කියන පුද්ගලයා ඔයා වුනානම් ඔයා තෝරගන්නේ කුමන මාර්ගයද?


          දෙවෙනි ප්‍රශ්නයනම් ටිකක් සංකීර්ණයි




අපි හිතමු ඔය X කියන පුද්ගලයා B කියන මාර්ගය තෝරගෙන සතුට කරා ගියා කියලා. ඊට පස්සේ  Y  කියලා පුද්ගලයෙක් C නැමැති පාරේ ඇවිත් එයා A මාර්ගයේ සෑහෙන කට්ටක් කාලා දවස් 6 ට පස්සේ සතුට කරා ළගා වුනා කියලා.

          ඉතින් දවසක් ස්ටීවන් ස්පීල්බර්ග් කියන ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට මේ දෙන්නා ගැන අහන්න ලැබෙනවා. ඉතින් මේ අධ්‍යක්ෂකවරයා කරන්නේ මේ දෙන්නගෙම කතාවල් (සතුට කරා ආපු හැටි) අහලා ඒවා චිත්‍රපට දෙකකට නගනවා. X කියන පුද්ගලයාගේ කතාව පදනම් කරගත්ත චිත්‍රපටිය XB ලෙසත් Y කියන පුද්ගලයාගේ කතාව පදනම් කරගත්ත චිත්‍රපටිය YA ලෙසත් ප්‍රදර්ශනය කලා යැයි සිතමු.
          මම අහන්නේ මේකයි: මේ චිත්‍රපට දෙකෙන් වඩාත් ජනප්‍රිය වන්නේ කුමන චිත්‍රපටයද?

උත්තර දෙක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා නේද? 

ඇයි එහෙම වෙනස් වෙන්නේ කියලා කියන්න පුළුවන්ද?

හරි උත්තරේ පස්සේ කියන්නම්කෝ.(එහෙම වෙන්න හේතුවත් මම කියනවා)


Tuesday, May 31, 2011

මා දුටු වැස්සක අසිරිය

අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාල‍ය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ සැලකූ මා කෙසේ හෝ රැකියාවට යාමට අවශ්‍ය බැවින් මා විසින් පෙර දිනක මේ වැස්ස නිසාම මිලදී ගෙන තිබූ වැසි කබාය පැලදගතිමි.
    ඒත් නිවසින් පිටවීමට අදිමදි කරමින් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ වැස්ස නතරකර දෙන ලෙසයි.මගේ ඉල්ලීම දෙවියන් විසින් තුට්ටුවකට මායිම් නොකල බැවින්(මීට පෙරත් දෙවියන් කවදාවත් මා කියන දේවල් තුට්ටුවකටවත් මායිම් කර නැත) වැස්සේම මම මාගේ යතුරු පැදියෙන් කාර්යාලය බලා පිටත් වුනෙමි.
    කොටුගොඩ හන්දිය දක්වාම පැමිණියේ වැස්ස ගැන ඇතිවූ කෝපයෙන් හා කණස්සල්ලෙනි. ශරීරයම වැසෙන සේ වැසි කබාය ඇද සිටියද විසිවී වැදෙන කුඩා දිය බින්දු නිසා සපත්තු දෙක තුලට යන්තමින් වතුර ගලා යමින් තිබුනි.මේස් කුට්ටම තෙත් වී සපත්තුව තුලින් වතුර ගලා යද්දී ඇතිවන හැගීම වචනයෙන් විස්තර කලානම් මෙය ලියන්නට සිදුවනුයේ ශුද්ධ සිංහලෙනි. බොහෝ තැන්වලින් පාර හරහට වතුර ගලා යමින් තිබූ අතර ඒ ස්ථාන වලදී කකුල් උස්සාගෙන යතුරුපැදිය ධාවනය කලේ සපත්තු දෙක මඩවලින් බේරා ගැනීමටයි.
    කොටුගොඩ හන්දිය පසුකර යත්ම මට වැස්ස ගැන ඇතිව තිබූ කළකිරුණු හැගීම නැතිව ගියාක් බදු විය. ඒ වෙනුවට වැස්ස මොනතරම් සුන්දරද කියා සිතෙන්නට විය.වෙනදාට කළබලකාරීව එහෙ මෙහෙ ගිය මිනිසුන් අද ටිකක් ඒ කළබලකාරීබවින් මිදී ගමන් කරන්නේ වැස්ස විසින් ඔවුන්ව පාලනය කල ලෙසකිනි. බස් රථයක් එනතුරු බලාසිටින මගීන් එකිනෙකාට ඉතා සමීපව කුඩ ඉහලාගෙන සිටියි. සාරි ඇදි කාන්තාවෝ සාරිය පහලින් අතින් උස්සාගෙන විසිවන වතුර සාරිය මත වැදී සාරිය තෙත් වීමට නොදී රැකගන්නට උත්සහ දරයි.
    මෙවන් වූ සුන්දර දසුන් පසුකර යත්ම මට වැස්ස ගැන හැගෙන අප්‍රසාද සිතුවිලි වෙනුවට චමත්කාරජනක සිතුවිලි සිතේ මැවෙන්නට විය.වැසි වසින වෙනත් දිනවල අවට දෙස ඉතා උනන්දුවකින් නොබැලූ මම අද වඩාත් උවමනාවෙන්ම මග දෙපස සිරි නැරඹුවෙමි.පැයට කිලෝමීටර් 30ක පමණ මද වේගයකින් ධාවනය කරමින් අවට සිරිනරඹමින් ගමන් කල මගේ සිතට මහා සිතුවිලි කන්දරාවක් ගලන්නට විය.එසේ මැවුන සිතුවිලි සමග ඉදිරියට යද්දී හමුවූ හා ඇසින් දුටු සියළු දේ කෙතරම් සුන්දර හා චමත්කාරජනක වීද යත් හැමදාම උදේට වහිනවානම් කෙතරම් අගනේද කියා සිතුණි.
ඒකල ප්‍රදේශයට ළගාවනවාත් සමගම සිත තව තවත් කූල්මත් විය. සමහරුන් බස් නැවතුම්පලවල් තුලද, තවත් සමහරුන් (කුඩ රැගෙන පැමිණි පුද්ගලයන්) බස් නැවතුම්පලවල් අසල කුඩ ඉහලාගෙන බස් රථයක් එනතුරු බලා සිටිති. ඒත් වෙනදා බස් රථයක් එනතුරු බලා සිටිනවාට වඩා අද ඔවුන්ගේ මුහුණු තුළ ඇත්තේ වෙනත් ස්වරූපයකි. ඔවුන් හරියට බලා සිටියේ ලොවම එපාවී ලොවම කළකිරී සිටියවුන් මෙනි.සති දෙක තුනකින් බස් රථයක් ඒ පාරේ පැමිණ නැතුවාක් මෙන් බලාපොරොත්තුවක් නැති හිස් මුහුණුවලින් හා වැස්ස ගැන පැවති කෝපයෙන් ඔවුන් පාර බලා සිටිති.
    පාර පුරා දිවෙන වාහනද වෙනදා මෙන් නොව වෙනස් ලෙසකින් ධාවනයේ යෙදෙතියි මට පෙනුණි. මමත් ඉතා පරිස්සමෙන් යතුරු පැදිය පැදවූයේ පාර මත ඇති වතුර නිසා ලිස්සන සුළු බැවිනි.හෙල්මටයේ වයිසරය මතට කුඩා වතුර බිඳු පතිත වී එයින් ඉදිරිපස දසුන් අපහැදිලි වී යද්දී මම මගේ අතින් වයිපරයකින් මෙන් එය පිසදැමුවේ අමුතුම ආකාරයේ සතුටකිනි.කාපට් කර ඇති මහාමාර්ගය මත වතුර වැටී දිලිසෙන විට වාහන ඒ මතින් යන විට එහි ප්‍රතිබම්භයක් පාරේ ඇති වෙයි. ඇත්තටම අමුතු ලස්සනක් ඒ මත මම අද දුටිමි.
    පාර දෙපස රැකියා ස්ථාන බලා යන සුන්දර යුවතියන් කුඩ ඉහලාගෙන මට ඉදිරියෙන් වැස්සේ යන විට මට ඔවුන්ගේ හිස පෙදෙස නොපෙනන අතර හොදින් දිස්වන්නේ උරහිසෙන් පහල කොටසයි. ඇවිදින තාලයට නැලවෙන සුන්දර පිටුපස ලස්සන දකින විට සිතේ ප්‍රබෝධමත් හැගුම් උතුරා යයි.මේ වැස්ස කෙතරම් වටින්නේ වී දැයි එවිට සිතෙයි.
    කාර්යාලයට ළගාවනවාත් සමගම වාගේ සිතට දුකක් ආවේ ඒ සුන්දරත්වය විදගන්නට තව දුරටත් නොහැකිවන බැවිනි.ඒ කොයි හැටි වෙතත් හැමදාම උදේට වැසි වසීවායි මම ප්‍රාර්ථනා කරමි.

Friday, April 15, 2011

එන්නද මම තරු ගනින්න

සොඳුර
ඔබව සිහිවෙයි මට
ඉන්න බැරිය
ඔබ ළග මට
ඔබේ මුහුණ
දැකගන්නට
එන්නද මම
පියඹාගෙන
ආසයි ඔබේ
තොල් පෙතිවල
සුසිනුදු බව
විදගන්නට
ඔබව ළැමට
තුරුළු කරන්
රෑ අහසේ තරු ගනින්න. . . .

ආදර යුද්ධය

ආදරය
යුද්ධයකි
විටෙක අපහසු
විටෙක පහසු
අත්හැර දැමීමට සිතෙන
එහෙත්
සිහිවන විට ජයග්‍රහණයේ
සතුට
සටන් කරමි
ජීවිතය වුවද
පරදුවට තබා
ජයගන්නට ඔබේ
ආදරය. . . . .

Wednesday, December 22, 2010

පිරිසිදු කිරීම




සිතුවිලි පොදි බැද
හද මුල්ලකට කර
ඉතිරි වූ සුන්බුන්ද
අතුගා දමා
නිදහස් කරගත් පසු
මනස
යළි යළිත්
හැඩි වෙයි
නොදැනුවත්වම.......