Tuesday, May 31, 2011

මා දුටු වැස්සක අසිරිය

අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාල‍ය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ සැලකූ මා කෙසේ හෝ රැකියාවට යාමට අවශ්‍ය බැවින් මා විසින් පෙර දිනක මේ වැස්ස නිසාම මිලදී ගෙන තිබූ වැසි කබාය පැලදගතිමි.
    ඒත් නිවසින් පිටවීමට අදිමදි කරමින් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ වැස්ස නතරකර දෙන ලෙසයි.මගේ ඉල්ලීම දෙවියන් විසින් තුට්ටුවකට මායිම් නොකල බැවින්(මීට පෙරත් දෙවියන් කවදාවත් මා කියන දේවල් තුට්ටුවකටවත් මායිම් කර නැත) වැස්සේම මම මාගේ යතුරු පැදියෙන් කාර්යාලය බලා පිටත් වුනෙමි.
    කොටුගොඩ හන්දිය දක්වාම පැමිණියේ වැස්ස ගැන ඇතිවූ කෝපයෙන් හා කණස්සල්ලෙනි. ශරීරයම වැසෙන සේ වැසි කබාය ඇද සිටියද විසිවී වැදෙන කුඩා දිය බින්දු නිසා සපත්තු දෙක තුලට යන්තමින් වතුර ගලා යමින් තිබුනි.මේස් කුට්ටම තෙත් වී සපත්තුව තුලින් වතුර ගලා යද්දී ඇතිවන හැගීම වචනයෙන් විස්තර කලානම් මෙය ලියන්නට සිදුවනුයේ ශුද්ධ සිංහලෙනි. බොහෝ තැන්වලින් පාර හරහට වතුර ගලා යමින් තිබූ අතර ඒ ස්ථාන වලදී කකුල් උස්සාගෙන යතුරුපැදිය ධාවනය කලේ සපත්තු දෙක මඩවලින් බේරා ගැනීමටයි.
    කොටුගොඩ හන්දිය පසුකර යත්ම මට වැස්ස ගැන ඇතිව තිබූ කළකිරුණු හැගීම නැතිව ගියාක් බදු විය. ඒ වෙනුවට වැස්ස මොනතරම් සුන්දරද කියා සිතෙන්නට විය.වෙනදාට කළබලකාරීව එහෙ මෙහෙ ගිය මිනිසුන් අද ටිකක් ඒ කළබලකාරීබවින් මිදී ගමන් කරන්නේ වැස්ස විසින් ඔවුන්ව පාලනය කල ලෙසකිනි. බස් රථයක් එනතුරු බලාසිටින මගීන් එකිනෙකාට ඉතා සමීපව කුඩ ඉහලාගෙන සිටියි. සාරි ඇදි කාන්තාවෝ සාරිය පහලින් අතින් උස්සාගෙන විසිවන වතුර සාරිය මත වැදී සාරිය තෙත් වීමට නොදී රැකගන්නට උත්සහ දරයි.
    මෙවන් වූ සුන්දර දසුන් පසුකර යත්ම මට වැස්ස ගැන හැගෙන අප්‍රසාද සිතුවිලි වෙනුවට චමත්කාරජනක සිතුවිලි සිතේ මැවෙන්නට විය.වැසි වසින වෙනත් දිනවල අවට දෙස ඉතා උනන්දුවකින් නොබැලූ මම අද වඩාත් උවමනාවෙන්ම මග දෙපස සිරි නැරඹුවෙමි.පැයට කිලෝමීටර් 30ක පමණ මද වේගයකින් ධාවනය කරමින් අවට සිරිනරඹමින් ගමන් කල මගේ සිතට මහා සිතුවිලි කන්දරාවක් ගලන්නට විය.එසේ මැවුන සිතුවිලි සමග ඉදිරියට යද්දී හමුවූ හා ඇසින් දුටු සියළු දේ කෙතරම් සුන්දර හා චමත්කාරජනක වීද යත් හැමදාම උදේට වහිනවානම් කෙතරම් අගනේද කියා සිතුණි.
ඒකල ප්‍රදේශයට ළගාවනවාත් සමගම සිත තව තවත් කූල්මත් විය. සමහරුන් බස් නැවතුම්පලවල් තුලද, තවත් සමහරුන් (කුඩ රැගෙන පැමිණි පුද්ගලයන්) බස් නැවතුම්පලවල් අසල කුඩ ඉහලාගෙන බස් රථයක් එනතුරු බලා සිටිති. ඒත් වෙනදා බස් රථයක් එනතුරු බලා සිටිනවාට වඩා අද ඔවුන්ගේ මුහුණු තුළ ඇත්තේ වෙනත් ස්වරූපයකි. ඔවුන් හරියට බලා සිටියේ ලොවම එපාවී ලොවම කළකිරී සිටියවුන් මෙනි.සති දෙක තුනකින් බස් රථයක් ඒ පාරේ පැමිණ නැතුවාක් මෙන් බලාපොරොත්තුවක් නැති හිස් මුහුණුවලින් හා වැස්ස ගැන පැවති කෝපයෙන් ඔවුන් පාර බලා සිටිති.
    පාර පුරා දිවෙන වාහනද වෙනදා මෙන් නොව වෙනස් ලෙසකින් ධාවනයේ යෙදෙතියි මට පෙනුණි. මමත් ඉතා පරිස්සමෙන් යතුරු පැදිය පැදවූයේ පාර මත ඇති වතුර නිසා ලිස්සන සුළු බැවිනි.හෙල්මටයේ වයිසරය මතට කුඩා වතුර බිඳු පතිත වී එයින් ඉදිරිපස දසුන් අපහැදිලි වී යද්දී මම මගේ අතින් වයිපරයකින් මෙන් එය පිසදැමුවේ අමුතුම ආකාරයේ සතුටකිනි.කාපට් කර ඇති මහාමාර්ගය මත වතුර වැටී දිලිසෙන විට වාහන ඒ මතින් යන විට එහි ප්‍රතිබම්භයක් පාරේ ඇති වෙයි. ඇත්තටම අමුතු ලස්සනක් ඒ මත මම අද දුටිමි.
    පාර දෙපස රැකියා ස්ථාන බලා යන සුන්දර යුවතියන් කුඩ ඉහලාගෙන මට ඉදිරියෙන් වැස්සේ යන විට මට ඔවුන්ගේ හිස පෙදෙස නොපෙනන අතර හොදින් දිස්වන්නේ උරහිසෙන් පහල කොටසයි. ඇවිදින තාලයට නැලවෙන සුන්දර පිටුපස ලස්සන දකින විට සිතේ ප්‍රබෝධමත් හැගුම් උතුරා යයි.මේ වැස්ස කෙතරම් වටින්නේ වී දැයි එවිට සිතෙයි.
    කාර්යාලයට ළගාවනවාත් සමගම වාගේ සිතට දුකක් ආවේ ඒ සුන්දරත්වය විදගන්නට තව දුරටත් නොහැකිවන බැවිනි.ඒ කොයි හැටි වෙතත් හැමදාම උදේට වැසි වසීවායි මම ප්‍රාර්ථනා කරමි.

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද